ජීවත් වෙලා ඉන්න අපිට විතර ද ප්‍රශ්න තියෙන්නෙ?මැරුණු අයට,කලාකෘතිවලට ප්‍රශ්න නැද්ද?
මොනාලිසා කියන කෙනාටත් ඒ වගේ ප්‍රශ්න නැති වෙන්න බෑනෙ.අවුරුදු ගානක් තිස්සෙ රටේ ලෝකෙ මිනිස්සු එයා ගැන හරියට දන්නෙ නැතුව කියන කතා එයාට ප්‍රශ්නයක් නෙවෙයි ද?
නුවන් විදහා මුදු හසරැලි පා
සිටින්නෙමි ඔබ දෙස බලා
අරුත සැඟවුණු කතා පුවතක
තතු කියන්නට හඬ නඟා
මගේ රුව ඔහු අතින් සිත්තම්
කළ අපූරුව තෙළිතුඩින්
ඒ නිසා මම වීමි රසඳුන
දනන් නෙත් යුග සනහමින්
සොයති සැඟවුණු රුවේ තොරතුරු
නිගා දෙවමින් නිමල දිවියට
නමුත් කිසිවක් විමසුවේ නැත
මගෙන් ඒ ගැන කිසිකෙනෙක්
මදහසින් මුවමඬල සරසා
මුදාහරිමින් වරලසා
බලා හිඳිනෙමි පතා කිසිවෙක්
විමසනා තෙක් මා වතා..
