Tuesday, January 16, 2018

එලොවටත් නැති,මෙලොවටත් නැති ජනෙල් ෆෝන්ස්....

       ෆෝන්ස් නම් ඉතිං අනන්තයි අප්‍රමාණයිනෙ.මේ අනන්ත අප්‍රමාණ වූ ෆෝන්ස්, වර්ග 3ක් යටතේ බෙදන්න පුලුවන්.  
  
 1.මෙලොවට ඇති ෆෝන්ස් 
        
 2.එලොවට,මෙලොවට දෙකටම ඇති ෆෝන්ස්                                   

 3.එලොවටත් නැති මෙලොවටත්  නැති කොටින්ම කිව්වොත් මෙලෝ රහක් නැති ෆෝන්ස්   
    
     ඉතිං මෙලොවට ඇති ෆෝන්ස් තමයි සැම්සුන්ග් වගේ එව්වා.ඒවා හැබැයි ඉතිං එලොවට ගෙනියන්න බෑ.මොකද,අයිතිකාරයා එලොව ගිහින් එතනින් ආයෙ වෙන එලොවකට යනකනුත් ඒ ෆෝන්ස් මෙලොව ම තමයි ඉතිං.ගොළුබෙලි තියරිනෙ.     
        එලොවට මෙලොවට දෙකට ම තියෙන ෆෝන්ස් තමයි ඉතිං අයිෆෝන්ස්.ඇයි ඉතිං එලොවදි උනත් හෙන ගැම්මෙන්  ඉන්න පුලුවන්නෙ මෙලොවදි අයිෆෝන් එකක් තිබ්බෙ කියලා.    
       එලොවට මෙලොවට දෙකට ම නැති, මෙලෝම රහක් නැති ෆෝන්ස් තමයි ඉතිං කවදත්දෙයියනේ කියලා ඒ ගෞරවය තනි අලියෙක් වගේ රැකගෙන ඉන්න ජනෙල් ෆෝන්ස්
    ජනෙල් ෆෝන්කාරයෙක්ගේ දුක තේරුම් ගන්න ඔයාලා කාටවත් බෑ.ඒ බුර බුරා නැඟෙන දුක් ගින්න තේරුම් ගන්න පුලුවන් තවත් එක් ජනෙල් ෆෝන්කාරයෙක්ට ම විතරයි.ඔයා ජනෙල් ෆෝන්කාරයෙක් නෙවෙයි නම්,ඒ දුක තේරුම් ගන්නෙ මේං මෙහෙමයි.ඔයාගෙ ජීවිතේ ගොඩක්ම දුක් වුණු සිද්ධියේ දුක ප්‍රමාණය 2න් වැඩි කරලා ඒ උත්තරේ 25හේ වර්ගය අරන් ඒ එන උත්තරේට 10000ක් එකතු කරලා ආයෙ 78න් වැඩි කරන්න.ආන්න එතකොට ඔයාලට ජනෙල් ෆෝන්කාරයෙක්ගේ දුකෙන් කන් හැන්දක දුක දැනගන්න පුලුවන්. 
     පිස්සියක් වුණත් මට එක උතුම් ප්‍රර්ථනයක් තියෙනවා.ඒ තමයි,මැරෙන්න කලින් ජනෙල් ෆෝන්සුත්,අඩුම තරමේ සැම්සුන්ග් ෆෝන්ස් වගේවත් ෂෝයි වේවා කියන ප්‍රාර්ථනාව.මේ මොන දේ කිව්වත් අන්තිමට  ම කියන්න වෙන්නෙ මේං මේකයි.
      "තියෙන්නෙ එක ජනෙල් ෆෝන් එකයි,ඒකට ආදලෙයි පැලෙන්න."

                                                       

Friday, January 12, 2018

කුරුලු කූඩුව

              පිස්සිට නම් දැන් හරිම සතුටුයි.මොකෝ දන්නව ද?මේ ළඟ දි ,අපේ රටේ ලොකු පුටුවල ඉන්න,මත් රකුසා අපේ රටින් පන්නමු කියලා කෑගහන බඩ තඩි උදවිය ඊයේ පෙරේදා අපි වගේ තැබෑරුම්කාරයන්ට මාර ම සතුටු හිතෙන,ලොකූ උදව්වක් කළානෙ.දැන් ඉතිං මේ පිස්සි උදේ රැයින්ම තැබෑරුම ඇරලා ආයෙ රෑ 10 වෙනකන් වහන්නෙම නෑ.ඕන් ඉතිං දැන් කට්ටියම උදෙන් ම නැගිටලා,දත කට මැදලා පිස්සිගෙ තැබෑරුමට එන්න ඕනා මොළය වෙරි වෙන්න අඩියක් ගහන්න.හා ඒ කතාව ඇති.දැන් තියෙන්නෙ වෙනම කතාවක්.මං දැන් මෙහෙම හිටියට ඉස්සර ඉස්කෝලෙත් ගිහින් තියෙනවනේ.ආන් ඒ කාලේ පිස්සිට සිද්ධ වුණා අර පද්‍ය රචනා කියලා කියන්නේ,ආන් එහෙම එකකට කවි හිත අවදි කරගන්න.ඉතිං පිස්සිත් දීලා තිබුණු මාතෘකාවලින් එකකට මේන් මෙහෙම ලිව්වා.
                
                හදපන් කුරුලු කූඩුව ඇන්ටනාවේ..

                     සහසකර කුමරු විකසිත වන 
                     අයුරු දකුමට,
                     පිය නැඟිමි මතුමහල් තලයට..
                     එනමුඳු,
                     වැඩ සිටියෙ සුරමඟ අරා
                     විසල් වූ ගොඩනැඟිලි ම ය..
                     හැරුණු විට ආපසු ,
                     විසිත සළුපිළිවලින් සැරසුණු
                     සියොත් යුවළක්
                     වෙත්පත් ව විමසුවා,
                     අපූරු පැණයක්..
                    " ගියෙමු නගරය සිසාරා අපි 
                      වනස්පති රජිඳෙකු සොයන්නට
                      ඒත් තිබුණේ නෑ වැලක්වත්
                      තනා ගැනුමට අපේ නිවහන
                      සෙනෙහෙ උතුරන මගේ බිරිඳට
                      අසීරුයි දැන් පියාසරණට
                      ඇඟිලි ගනිමින් ඉන්නෙ ඇය දැන්
                      උතුම් මව් පදවිය ලබන්නට
                      නසා අප බිම්
                      ඔබේ වරිගය
                      කළේ මේ සා විපත් අපහට
                      අනේ පින් ඇති මිනිස් දියණිය
                      සතුට,සෙනෙහස,සැපත රජයන
                      ඉසුරුපිරි නිවහනක් තැනුමට
                      ඉඩක් අපහට සොයා දෙනවද?"
                      මුකුලිත ව ගිය විහඟ නෙත් දෙස
                      බලා සිට විළිබර ඇසින්
                      සිසාරා මම හාත්පස දෙස
                      සුරත දිගුකර වහළෙ කොනකට
                     කීමි වදනින් වදන ගළපා
                     "හදපන් කුරුලු කූඩුව ඇන්ටනාවේ"
 

                                 

Sunday, January 7, 2018

පිස්සිගේ තැබෑරුම

රටේ ලෝකෙ සිද්දවෙන එව්වා මෙව්වා පේන,පිස්සි පිස්සුවෙන් කියවන කවි පද ඇහෙන,මොළය වෙරි කරන,සයිබර් අවකාශයේ කැටපත් පවුර ..                                                                                                                                                 

Saturday, January 6, 2018

ගස්

          අරහේ ගස් කපනවාලු..මහා වන විනාශයක්ලු.අම්මෝ අපේ මේ වනගහනය අඩු වෙනවලු..අපේ අනාගත දරු පරපුරට බලන්න එක ගහක්වත් ඉතුරු කරමුලු.මේ වගේ මහාප්‍රාණ කතානම් රට වටෙන්ම ඇහෙනවානෙ.වැඩියෙන්ම ඇහෙන්නේ බුකිය පැත්තෙන්.රටේ උගත්ම සැට් එක ඉන්න විස්සවිජ්ජාලවලිනුත් මේ දේවල් ඇහෙනවනෙ.රටේ ගස් ටික ආරක්ෂා කරන එක නම් ගොඩාක් හොඳ දෙයක්.ඒත් ඉතිං කපනවා කපනවා කියලා නම් හරියන්නෙ නෑ.තනි තනියෙන් හරි කට්ටිය එකතුවෙලා හරි ගස් හිටවන්න ඕනා.මේ වගේ රුක් රෝපණ වැඩසටහන් කීපයක් සිද්ද වෙනව කියලත් පිස්සිගෙ තැබෑරුමට ආරංචි වුණා.ඉතිං කට්ටියම එකතු වෙලා ගස් කපන එක නවත්තන්න එකතු වෙන ගමන්ම ගස් හිටවන්නත් එකතු වෙමු.කොහේවත් තැබෑරුමක ඉන්න පිස්සියෙක් දොඩවන පිස්සු හෑල්ලක් කියලා මේක අහක දාන්න එපා.හහ් හහ් හා..පිස්සු නැත්තන් පොඩ්ඩක් හිතලා බලන්නකො ඔහේලා..                                                            

මෙහෙමත් ලස්සනක්..

                                      ලස්සන ඇත්තට ම සාපේක්ෂ ද?හැමෝම  කියන්නෙ නම් එහෙමයි ඉතිං.කොහොම උනත් ඉස්සර ඉඳන් ලස්සන වෙන්න නම් කට්ටිය හරියට දඟලලා තියෙනවා.අර ක්ලියෝපැට්‍රාත් කිරිවලින් උරච්චි ද මොකක්දෝ කරලා මුතු ගෑවලුනෙ ලස්සන වෙන්න.                                                                                                                                                   කොහොම උනත් කාලෙන් කාලෙට,රටින් රටට ලස්සන නම් ඉතින් වෙනස් වෙනවා. 💅💆                                                                                                                                                                                                  ගිණිකොනදිග ආසියාවෙ ඉන්න පාදුවාන්ග් ගෝත්‍රයේ ඇත්තො නම් ලස්සනයි කියලා කියන්නෙ බෙල්ල ගොඩාක් දිග අයට.මේ හින්ද ම එහේ අම්මලා එයාලගේ දුවලාගේ බෙල්ල දිග කරන්න පටන් ගන්නවා දුවලට අවුරුදු පහ පිරුණු ගමන් ම.ඒකෙත් හැටි නේද?එහේ අම්මලාට තියෙන උනන්දුව අපේ අම්මලාට තිබුණා නම් අපිත් අද ජිරාෆ්ලා වගේ හරි,ලස්සනට ඉඳීවි.මෙයාලා බෙල්ල දිග කරන්නේ බෙල්ලට වළලු දාලා.හැම අවුරුද්දෙ ම බෙල්ලට එක වළල්ල ගානෙ දානවා.කොහොම හරි දුවගෙ කලවයස හරියනකොට බෙල්ලත් සෙන්ටිමීටර 25ක් විතර දිගයි.බෙල්ල දිග නැත්තම් ඉතිං එයාව කවුරුවත් කසාද නම් බඳින්නෙ නෑලු.                                                                                                                                                 අපේ රටවල නම් කඩවසම් පිරිමි කියන්නේ උසට ගැළපෙන මහත තියෙන අයට මිසක් බැරල් වගේ අයට නෙවෙයිනෙ.බැරල්වගේ ඉන්න අයට ඉතිං ගෑණු ළමයි කැමති වෙන්නත් අදිමදි කරනවනේ.හැබැයි ඔන්න මේ බැරල් වගේ පිරිමි දරුවො ටික සුඩානෙ ඩින්කා ගෝත්‍රයට ගියොත් නම් ලේසියෙන්ම ගෑණු ළමයෙක්ගෙ ඇල්ම බැල්ම ගන්න පුලුවන්.මොකද,'මහත නම් කඩවසම්' කියලා තමයි එයාලා හිතන්නෙ.එහේ කාන්තාවො හිතන්නෙ 'මහත' කියන්නෙ පෝසත්කමේත් බලයේත් සංකේතය කියලනෙ.ඒකයි ඒ..                                                                                                                                                      අද කාලේ පිරිමි ප්‍රසිද්ධියේ අඬන්නෙ නෑනෙ.ඒක ලැජ්ජාවක් විදිහටනෙ හිතන්නෙ.ඒත් ඒකටත් එක්ක 18 වන සියවසේ දි නම් නියම මහත්මයෙක් කියලා පිළිගත්තේ මහ සෙනඟක් මැද්දේ අඬන අයව.ඒ වගේම එ කාලෙ පිරිමි අය මේකප් තට්ටු පිටින් උලාගෙන,සෙන්ට් නාලා,ඒ මදිවට බොරු කොන්ඩත් දාන් ඉඳලයි තියෙන්නෙ තමන් මහත්මා ගතිවලින් පෝෂිත පුද්ගලයෙක් කියලා පෙන්නන්න.                                                                                                                                                                                                                  කොහොම කොහොම හරි ඉතිං හැමදේකම,හැමකෙනෙක්ගෙම මොකක් හරි ලස්සනක් තියෙනවනෙ.ඒත් ඉතිං හිත ලස්සන නැත්තන් නම් වැඩක් නෑ.

මොනාලිසාගෙන් පැණයක්..

ජීවත් වෙලා ඉන්න අපිට විතර ද ප්‍රශ්න තියෙන්නෙ?මැරුණු අයට,කලාකෘතිවලට ප්‍රශ්න නැද්ද? මොනාලිසා කියන කෙනාටත් ඒ වගේ ප්‍රශ්න නැති වෙන්න බෑනෙ.අව...